වාක්‍යං රසාත්මකං කාව්‍යම් යනුවෙන් රසය ආත්මය කොට ගත් වාක්‍යය කාව්‍යය වන්නේ යැයි සුප්‍රකට සංස්කෘත කාව්‍යාචාර්යවරයා වන විශ්වනාථ පඬිවරයා පවසා ඇත. රමණීය අරුත් ප්‍රතිපාදනය කරන ශබ්දය කාව්‍ය වන්නේ යැයි පශ්චාත් කාලීන සංස්කෘත ආචාර්යවරයෙකු වන ජගන්නාථ පඬිවරයා පැවසීය. ''තමා ලද චමත්කාරය ගවේශණය කිරීම පිණිස මිනිසා විසින් පරිහරණය කරනු ලබන භාෂාව කවිය වන්නේ ය.'' යැයි ක්‍රිස්ටෝෆර් ෆ්‍රයි නමැති බටහිර කාව්‍ය විචාරකයා පවසන ලදි. ''නිරුත්සාහකව ගලා එන ප්‍රබල හැඟීම්'' කවිය ලෙස වර්ඩ්ස්වර්ත් කවියා දක්වයි.
ඒ අනුව කාව්‍යකරණය වූ කලී නිර්මාණාත්මක ව්‍යාපාරයක් වන බවයි. කවියා වනාහී නිර්මාතෘවරයෙකි. කවියා විඳි අත්දැකීම රසික සිතෙහි පුනර් නිර්මාණය කිරීමට නම් කවියා සතු අවශ්‍යයෙන් ම තිබිය යුත්තේ උත්පාදක ශක්තිය යි. කවියා තමාට කලින් සිටි ලේඛකයන්ගේ ඇසින් යම් යම් දේ දැකිය යුතු නොවේ. ඔවුන්ගේ කණින් ඇසිය යුතු නොවේ. තම ඇසින්ම කවියා ඒවා දැකිය යුතු ය. තම කණින් ම ඇසිය යුතු ය.
ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය හා අභ්‍යාසය යන ලක්ෂණ කවියකුට මූලික වශයෙන් පිහිටිය යුතු ය. කාව්‍ය රචනය රස විඳීමට තුඩු දෙන අයුරින් විචිත්‍රත්වයක් ඇති වන්නේ එහි කිසියම් අපූර්වත්වයක් ඇත්නම් පමණි. එම අපූර්වත්වය කාව්‍ය නිර්මාණයකට පිවිසෙන්නේ කවියා සතුව ප්‍රතිභා ශක්තිය තිබීම හේතු කොටගෙන ය. කිසියම් කාව්‍ය නිර්මාණයක අගය රඳාපවතින්නේ එම නිර්මාණයෙන් ජීවිතය පිළිබඳ හෝ මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු විවරණයක් සිදුවුව හොත් ය. සමාජයේ එදිනෙදා සිදු වන විවිධ සිදුවීම් දෙස උපේක්ෂා දෘෂ්ථිය යොමු කොට යථාර්ථය විනිවිද දැක්මේ සියුම් නිරීක්ෂණ ශක්තියක් රචකයාට තිබිය යුතු ය.
ජන කවිය
සෑම රටකම සාහිත්‍ය මහා සම්ප්‍රදාය සහ චූල සම්ප්‍රදාය යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. විද්වතුන්ගේ තියුණු අවධානයට හා ඇගයීමට ලක් නොවුණු ජන කතා සහ ජන කවි සාමාන්‍යයෙන් ජන සාහිත්‍ය ලෙස සලකනු ලැබේ. සෑම සාහිත්‍යයකම මුලින්ම ප්‍රභවය වූයේ ජන සාහිත්‍ය යැයි පැවසීමට පුළුවන. එදිනෙදා ජීවන ක්‍රියාකාරකම් නිම වූ කළ අතීතයේ දී මිනිසාට තමා ලබන සුළු විවේකයේදී යම්බඳු සුබාස්වාදයක් විඳීමට අවශ්‍ය විය. අද මෙන් තාක්ෂණික අතින් වැඩි දියුණු වු ශ්‍රව්‍ය, දෘශ්‍ය මාධ්‍ය නොතිබුණු එකල ගැමියෝ එක් රැස් වී ඔවුන් දැනකියාගෙන සිටි කතා කීමෙන් හෝ කවි ගායනා කිරීමෙන් තමතමන් විනෝද වූ අතර සෙස්සන් ද විනෝදයට පත් කළ හ. එකල මුඛ පරම්පරාගතව ආ කතා ජන කතා බවට පත් වූ කතා අතර කවි, ජනකාව්‍ය වශයෙන් සෑම සාහිත්‍යයකම දැකිය හැකි ය.
සම්භාව්‍ය සාහිත්‍යය මෙන් ම ජන සාහිත්‍ය ද තත්කාලීන සමාජ, ආර්ථික, දේශපාලන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි ය. එසේ ම මේ හේතු සාධක නිසා සෑම රටකම පහළ වූ ජනකාව්‍ය විවිධ ස්වරූප ගත් හ. වස්තුවිශය, ආකෘතිය සහ සන්දර්භය අතින් වුවද සෑම රටකම ජන කාව්‍යවලට ආවේණික වූ පොදු ලක්ෂණ කීපයක් දක්නට ලැබේ. ජන කාව්‍යවල ප්‍රමුඛ ලක්ෂණය නම් ගැමි කාව්‍ය විලාසයෙන් කිසියම් වෘත්තාන්තයක් අනාවරණය කිරීමයි. සම්භාව්‍ය කාව්‍ය රචනා වල සුවිශේෂී ලක්ෂණය වන්නේ පෞද්ගලිකත්වය ඉස්මතු වීමයි. එහෙත් ජන කාව්‍ය රචනා වල පෞද්ගලිකත්වය අභිබවන පොදු බවක් ඉස්මතු වී තිබේ.
සිංහලයන් තුළ ජන කාව්‍ය විශේෂ රැසක් දැකිය හැකි ය. ඒ අතර ගොයම් කවි, පැල් කවි, පාරු කවි, පතල් කවි කරත්ත කවි ආදිය සුවිශේෂී වේ. බහුලව සිංහල කවි රචනා වී ඇත්තේ කෘෂිකර්මය සහ බැඳුණු ජන ජීවිතය පාදක කර ගෙන ය. ගැමි ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ වී ගොවිතැන වූ හෙයින් ඔවුන්ගේ විවිධ අද්දැකීම අන්‍යයන්ට ප්‍රකාශ කිරීමේ සන්නිවේදන මාධ්‍ය ලෙස ජන කවිය යොදා ගන්නා ලදි.
'' බත නම් උත්තම දෙයකි බොලන් නේ
ඇස නම් ලැබුවට එය සිරි දෙන් නේ
කිසියම් ලෙස මැලි නොව වෙහෙසෙන් නේ
එහෙනම් බත නොවැරදිව ලැබෙන් නේ''
''දැහැමෙන් කන බොන සැටි දැන ගල්ලා
වෙළඳ න් නය සොර අතහැර පල්ලා
දැහැමින් වෙළෙඳන් සමඟ බොලල්ලා
ගොවිතැන් කර අපි රැකෙමු සියල්ලා''
අර්ථ පූර්ණ සහ භාව පූර්ණ ජන කවි රචනා වී ඇත්තේ කෙත ඇසුරු කර ගෙන ය. කෙතෙහි සශ්‍රීකත්වය සහ සෞන්දර්යය එම ජන කාව්‍ය වල ගැබ් වී ඇත.
''ඇසී නාද හඬ බඹරුගෙ ලීලා
පැසී ගොයම් පත් කිරට නැමීලා
ගැසී සුළං වාතෙට ඉති නැමිලා
පැසී ගොයම් කෙත සුරපුර ලීලා''
ජන කාව්‍ය වර්ග කිහිපයකට බෙදා දැක් විය හැකි ය.
1. පන්සිය පනස් ජාතක පොතේ එන ජාතක කතා කාව්‍යයට නගා ඇති ජන කාව්‍ය
2. පැවත එන ජන කතාවලින් සකස්වුණු ජන කාව්‍ය
3. ඓතිහාසික හා අර්ධ ඓතිහාසික සිද්ධි මත ගොඩ නැගුණු ජන කාව්‍ය
4. ප්‍රේම කාව්‍ය
5. වීරාත්මක කාව්‍ය
වියත් සාහිත්‍ය ජන සාහිත්‍යයෙන් වෙනස්වන්නේ ප්‍රධාන වශයෙන් භාෂාව මගිනි. බසෙහි කෘතීම බවක් ජන කවියෙහි නොමැත. ජනකවියා බසත්, බස හසුරුවන ආකාරයත් වැදගත් ය. ජන කවියෙහි ආවේණික ලක්ෂණයක් ලෙස අව්‍යජත්වය සැලකේ. අව්‍යාජත්වය වූ කලී සත්‍යාන්විත අද්දැකීම් වලට අනුව අදහස් හා හැඟීම් ප්‍රකාශ කිරීමයැයි පැවසිය හැකි ය. පුනරුක්තිය, සංයමය හා අත්දැකීම අලංකාරෝක්තියක් නොකිරීම ජන කවියට ආවේණික වූ ධර්මතා ලෙස සැලකිය හැකි ය.
❤️👍
ReplyDelete