Thursday, June 8, 2023

කුමාරතුංග මුනිදාස



 1887 ජූලි 25 වැනිදා දකුණු පළාතේ මාතර, දික්වැල්ලේ දී කුමාරතුංග මුනිදාස මහතා උපත ලැබීය. පළන්වින්නේගේ මුනිදාස කුමාරතුංග යන උප්පැන්න සහතික නාමය පසු කාලයේදී කුමාරතුංග මුනිදාස, කුමාරණතුංග, කුමාරතුඟු මුනිදස් ආදී වශයෙන් වරින්වර වෙනස් විය. දැනට කුමාරතුංග මුනිදාස විදුහල නමින් හැඳින්වෙන මොග්ගලීපුත්ත තිස්ස විදුහලේ ඉගෙනීමෙන් අනතුරුව කොළඹ රජයේ ගුරු අභ්‍යාස විද්‍යාලයේ ද්වි භාෂා අංශයෙන් පුහුණුවක් ලැබීය. 

මෙතුමා ග්‍රන්ථකරණයට පිවිසියේ 1917 දී පළ කළ '' සාමාන්‍ය දැනීම ප්‍රශ්න" නම් කුඩා පොතිනි. පසුව පැරණි පොත් වලට ලියූ විවරණ ග්‍රන්ථ 37ක් ද අලුතින් නිපැයූ පොත් 38ක්ද සංස්කරණයන් 26ක්ද ඉංග්‍රීසි බසින් කළ හේළියෝ සඟරාව ද ඇතුලුව කෘති 102 ක් දායාද කළ හ. 

'' හා හා හරි හාවා, තොටිල්ල සැම සුව පිරී - පැද්දෙයි තාලෙට සරී, ගස වතුසුදු - වී පිරිසිදු - පොහොය නැතිදු සිල් ගත් බඳු '' මෙවැනි ළමා ගීත තුළින් ළමයාට සුන්දර ලොවක් බිහි කර දී තිබේ. මෙතෙක් කුමාරතුංග මහතාගේ නිර්මාණ අභිබවා යාමට සමත් ළමා නිර්මාණ බිහි වී නැත. 

එතුමා '' ඉදිරියට යව් හෙළයිනි ඉදිරියටමැ යව්'' ආදී වශයෙන් දේශය පිළිබඳ අභිමානයක් ගෙන දෙන ගීත ලාංකික ගී සාහිත්‍යයට එකතු කර තිබේ. 

1939 දී ඇරඹි '' සුබස'' සඟරාව තුළින් ද කුමාරතුංග මහතා භාෂා පෙරලියකට මඟ හෙළි කළේ ය. එතුලින් සමකාලීන භාෂා ගැටලු විසදීමට මගපෙන්වීමක් ද කළේ ය. 

සාහිත්‍ය විවාද රාශියකට සහභාගී වූ එතුමා '' කුකවි වාදය'' නැමති වාදයෙන් සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ විශාල ප්‍රබෝධයක් ඇති කළේ ය. 

සංස්කරණය කොට විවරණ සහිතව පළ කරන්නට යෙදුණු ග්‍රන්ථ සංඛ්‍යාව 25 කට අධිකය. අලුතින් ලියන ලද ගද්‍ය පද්‍ය කෘති සංඛ්‍යාව ද 30කට අධික වේ. ඒවා නම් ශික්ෂාවතාරය, ශික්ෂා මාර්ගය, කුමර ගී, සංස්කෘත ශික්ෂා මාර්ගය, හත්පණ, මඟුල් කෑම, හීන් සැරය, සුර කුමරිය, ශික්ෂා රත්නාකරය, ක්‍රියා විවරණය, ප්‍රබන්ධෝපදේශය, ප්‍රබන්ද සංග්‍රහය, කවි ශික්ෂාව, අකුරු සැහැල්ල, පිය සමර, කුමාර පද්‍ය සංග්‍රහය, කුමාර ව්‍යාකරණය, කියවන නුවණ, හෙළ මියැසිය යනාදිය යි. 

අභාවයෙන් මතු මුද්‍රණයෙන් පළ වූ ගද්‍ය පද්‍ය නිර්මාණ සහ ලිපි ලේඛන ද රාශියකි. කුමාරතුංගයන්ගේ සියලු පද්‍ය රචනා එක්තැන් කළ කෘතියක වෙළුම් දෙකක් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් 1970 දී 1992 දී පළ කරන ලදි. එය 'කුමරතුඟු පැදි එකතුව' නම් වේ.

කුමාරතුංග මහතා සිංහල භාෂාව වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කළේ ය. එතුමන් විසින් අපට දෙන ලද භාෂාමය සාහිත්‍යමය හා ජාතික ආගමික දායාදයන් නිසා අපි තවමත් සිංහලයන් ලෙස සිටින්නෙමු. 

කුමාරතුංග මුනිදාසයන් රෝගාතුරව සිට 1944 මාර්තු 02 වැනි දා පානදුරේ පල්ලිමුල්ලේ දී මිය ගියේ ය.

No comments:

Post a Comment

කවිය සහ ජන කවිය